Posts

Image
පෙම් හුටපටයකට සැරයන්ගෙන් එස්. අයිට පිහි ප්‍රහාරයක් ත්‍රිකුණාමලය පරණ පොලිසිය නිල නිවාස සංකීර්ණයේදී පොලිස් සැරයන්වරයකු කොට්ඨාස ත්‍රස්ත විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට ඊයේ (14) පිහියකින් පහරදීම නිසා තුවාල ලබා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කළ බව වරාය පොලිසිය පවසනවා. පහර කෑමෙන් බේරීමට එම නිල නිවාස සංකීර්ණයට යාබඳව පිහිටි ත්‍රස්ත විමර්ශන ඒකක කාර්යාලයට දිව ආ ස්ථානාධිපතිවරයා පහරකෑමෙන් බේරි පලා යෑම නිසා උරණ වූ සැරයන්වරයා එහි දේපළවලට හානිකර ඇති බවට ද වාර්තා වෙනවා. ඒ අනුව, දේපලට හානි කිරීම සම්බන්ධයෙන් සැකපිට සැරයෙන්වරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජනෙල් දොරවල්වලට හානි කරද්දී එහි වීදුරුවකට කැපී සැකකාර සැරයන්වරයා ද තුවාල ලබා පොලිස් ආරක්ෂාව යටතේ ත්‍රිකුණාමලයේ රෝහලේ ප්‍රතිකාර ලබනවා. ත්‍රස්ත විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා සැකකාර සැරයන්වරයාගේ දියණියක් සමග ඇතිකරගත් අනියම් සම්බන්ධයක් මත මෙම පහරදීම සිදුකර ඇති බවට කරුණු හෙළිව ඇතැයි ත්‍රිකුණාමල වරාය පොලිසිය පවසනවා.
Image
2026 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් සම්මත වුණි. එහිදී අයවැය ට පක්ෂව ඡන්ද 160ක් සහ විරුද්ධව ඡන්ද 42ක් හිමිවූ අතර 8 දෙනෙකු ඡන්දය ලබාදීමෙන් වැළකී සිටියේය. ඒ අනුව වැඩි ඡන්ද 118කින් අයවැය දෙවන වර කියවීම සම්මත වුණි. මෙහිදී විපක්ෂය නියෝජනය කරන මනෝ ගනේෂන්, රාධා ක්‍රිෂ්ණන්, පලනි දිගම්බරන් හා ජීවන් තොණ්ඩමන් යන මන්ත්‍රීවරු අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂයකි.  අද (14) උදෑසන 9.30ට විවාදය ආරම්භ වූ අතර පස්වරු 6.00ට විවාදය අවසන් වීමෙන් පසු අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම සිදුකෙරුණි. 2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව පසුගිය 7 වනදා මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඒ අනුව විසර්ජන පනත් කෙටුම්පතට අදාළ අයවැය විවාදය දෙසැම්බර් මස 5 දක්වා පැවැත්වෙනු ඇත. අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය හෙට (15) සිට දින 17ක් පැවැත්වීමෙන් පසු අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 5 වන දින පස්වරු 6ට සිදුකිරීමට නියමිතය.